ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රකාශනය ඡන්ද බලයයි. ප්‍රජාතන්ත්‍රවාදයේ මහෝත්සවය ඡන්ද විමසීමයි.

'මිනිසා උපතින්ම නිදහස්. නිදහස උත්පත්ති අයිතියක්. එලෙසින්ම මිනිසා උපතින් කිසිවකුටත් යටත් හෝ දෙවැනි වන්නේ නැහැ. මිනිසා උපතින්ම සමානයි'

නූතන ලෝකයේ මිනිස්කම නැත්නම් මිනිස් අයිතිය, ඒ කියන්නේ මානව හිමිකම් පදනම් වන්නේ අන්න ඒ පදනම මතයි. මිනිස්කම අර්ථවත් වෙන්නේ සෑම හිමිකමක්ම සෑම දෙනාටම හිමිවීම මගින්.

සමාජයකට අරාජිකව පවතින්න බැහැ. ක්‍රම සහ විධි පද්ධතියක් මගින් පිළිවෙලක් පිහිටුවා ගන්නේ නැත්නම් එවැනි සමාජයක් අවුල් ජාලාවක් බවට පත් වෙනවා. එසේ වුවහොත් මිනිස්කමෙහි උතුම්ම දායාදය වන හිමිකම් නැතිව යනවා.අපේ උත්පත්ති අයිතීන් වන නිදහස සහ සමානාත්මතාවයට ගරු කැරෙන වත්මන් ලෝකයේ පවත්නා වඩාම සාරවත් සමාජ සංවිධාන මෙවලම තමයි ප්‍රජාතන්ත්‍රවාදය. එම වචනය බිදී එන්නේ ජනයා විසින් ජනයා පාලනය කිරීම යන අරුත දෙන ග්‍රීක වචනයකින්. නමුත් ලොව පුරා පැවැති පැරණි සංස්කෘතීන් බොහොමයක වාගේ ජනයා විසින් ජනයා පාලනය කර ගැනීමේ ලක්ෂණ පැවැත තිබෙනවා.ජනයා විසින් ජනයා පාලනය කර ගැනීමේ සංකල්පය පරිණාමනය වී අද අප භාවිත කරන  නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනැගී තිබෙනවා. ඊට හේතුව තමයි ලක්ෂ සංඛ්‍යාත ජනකායකට ඍජුවම සමාජය සංවිධානය කර ගැනීම, වෙනත් වචනයකින් කියන්නේ නම් රාජ්‍ය පාලනයට සම්බන්ධ වෙන්න ක්‍රමයක් නැති නිසා. නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ නිසි කාල අන්තරයන්හි පැවැත්වෙන මැතිවරණයන්හිදී ඡන්දයෙන් නිශ්චිත කාලයකට නියෝජිත- නියෝජිතවරියන් පත් කරගැනීම මගින් ආණ්ඩුකරණය පවත්වා ගැනීමයි.

ඡන්දය සහ ප්‍රජාතන්ත්‍රවාදය අතර පවතින්නේ අභේද්‍ය බැදීමක්. එකක් නැතිව අනෙක පවතින්නේ නැහැ.මුල් කාලයෙහි රාජ්‍ය පාලන නියෝජිතයින් පත්කර ගැනීමේ මැතිවරණයන්හිදී ඡන්ද බලය තිබුණේ තෝරාගත් පිරිසකට පමණයි. උදාහරණයක් විදිහට ස්ත්‍රීන්ට බොහෝ රටවල ඡන්ද බලය ලැබුණේ විශාල උද්ඝෝෂණවල ප්‍රතිඵලයක් විදිහට.සර්වජන ඡන්ද බලයෙන් තමයි මේ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය මල්පල ගැන්වෙන්නේ. ඒ කියන්නේ කවුද, කොහොන්ද, කොයිවගේද නොසලකා සෑම පුරවැසියකුටම එක් ඡන්දයක් පමණක්  හිමි ක්‍රමය. සර්වජන ඡන්දය කියන්නේ හැමදෙනාගේ කැමැත්ත එක සමානව ප්‍රකාශ කිරීමේ මෙවළම.ඕනෑම සමාජ පද්ධතියක සාමාජික සාමාජිකාවන්ගෙන් කවරෙකු හෝ ගන්නා තීරණයක් එම පද්ධතියටම බලපාන නිසා, එහි කොටස්කරුවන් වන හැමදෙනාටම තීරණ ගැනීම සදහා සහභාගි වීමේ අයිතිය සම සමව තිබීම අවශ්‍යයි. එයයි සර්වජන ඡන්ද බලයේ වටිනාකම.හැබැයි සර්ව ජන ඡන්දයේ නියම බලය මහජනයාට ලැබීමට නම් තවත් සාධක ගණනාවක් සම්පුර්ණවීම අවශ්‍යයි. කෙටියෙන් මැතිවරණ, නිදහස් සහ සාධාරණ විය යුතුයැයි කියන්නේ ඒ නිසයි.මැතිවරණයක් නිදහස් සහ සාධාරණ වීමට නම් ප්‍රථමයෙන්ම තමන් කැමැති නියෝජිතයා තෝරා ගැනීම සඳහා අවශ්‍ය තොරතුරු මහජනයාට නිදහසේ සමානව ලැබිය යුතුයි.


මැතිවරණ අවස්ථාවෙහි ජනමාධ්‍ය භුමිකාව වැදගත් වන්නේ මෙතැනදි. ජනමාධ්‍යයේ ප්‍රජාතන්ත්‍රවාදී භුමිකාව තමයි දැනුවත් පුරවැසියකු බිහිකිරීම. පුරවැසියා දැනුවත් නැත්නම් සර්වජන ඡන්දය අපතේ යනවා.එපමණක් නොවෙයි ඕනෑම මැතිවරණයකදී එයට ඉදිරිපත්වන සෑම දෙනාටම, සෑම දේශපාලන පක්ෂයකටම සිය ප්‍රචාරක ව්‍යාපාර සඳහා සමාන ඉඩ ප්‍රස්ථා තියෙන්න ඕන. ධනය සහ බලය නිසා කවර හෝ අපේක්ෂකයකුට හෝ පක්ෂයකට වැඩි අවස්ථා තියෙන්න බැහැ. එහෙම වුනොත් අප මුලින් කී සමානාත්මතාවය නැතිව යනවා.මැතිවරණ අවස්ථාවන්හිදී මැතිවරණ කොමිසමට මේ සියලු සාධක සමබරව තබා ගැනීමට වගකීමක් තිබෙනවා. මොකද මැතිවරණය නිදහස් සහ සාධාරණ වන්නේ එම සාධක සමබර වූ විට පමණක් නිසා. අන්න එතකොට තමයි සර්වජන ඡන්දයට හිමි නියම තැන ලැබෙන්නේ.


ඡන්දය ප්‍රකාශ කිරීම හුදෙක් නියෝජිත - නියෝජිතවරියන් පත් කරගැනීමට සීමා වූ ක්‍රියාවක් පමණක් නොවෙයි. එය සංස්කෘතියක් වෙන්න ඕන. ඒ කියන්නේ ආණ්ඩුකරණය සම්බන්ධයෙන් සිය අදහස් දැක්වීමට මහජනයාට ඇති අයිතිය ලෙස තමයි එය සමාජ ගතවෙන්න ඕන.ප්‍ර


ජාතන්ත්‍රවාදය කියන්නෙත් මිනිස්කම සුරකින මෙවළම. සෑම මානව හිමිකමක්ම ඇතුළත් කරගත් දැක්මක්. සංස්කෘතියක්.ඔය විදිහට ප්‍රජාතන්ත්‍රවාදය සහ සර්වජන ඡන්ද අයිතිය විසින් සිය අදහස්වලට වටිනාකමක් ඇති බව මහජනයාට හැඟීමක් ඇති කරනවා. අපේ හිමිකම් රැකගැනීම සඳහා මෙන්ම ජිවිතය යහපත් කර ගැනීම සඳහා කටයුතු කිරීමට  අපට ඒ විසින් අවස්ථාවක් උදා කර දෙනවා.


ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීමට සර්වජන ඡන්දය අවශ්‍යයි. ප්‍රජාතන්ත්‍රවාදය නැත්නම් සර්වජන ඡන්ද බලය ලැබෙන්නේ නැහැ. හරියට එකම කඹයක වෙලුම් නැත්නම් පොටවල් දෙක වාගෙයි.ඒ නිසා අපට මේ වෙලුම් දෙකම අවශ්‍යයි. ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රකාශනය ඡන්ද බලයයි; ප්‍රජාතන්ත්‍රවාදයේ මහෝත්සවය ඡන්ද විමසීමයි. කියන්නේ අන්න ඒ නිසා.

-         ලෝක ප්‍රජාතන්ත්‍රවාදී දිනය සමරමු. -
-         සර්වජන ඡන්ද බලය සුරකිමු. -
නිදහස් මාධ්‍ය වේදියෙකු විසින් රචිත ලිපියක් 

0 comments:

Post a Comment