මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රජාතන්ත්‍රවාදය හා ඡන්ද බලයේ වටිනාකම
පිළිබඳව පාසැල් ශිෂ්‍ය ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන්වලදී ශිෂ්‍ය පාර්ලිමේන්තු නියෝජිතයන්
නගන පොදු ප්‍රශ්නවලට අවධානය යොමු කිරීමේ දී ලෝක ප්‍රජාතන්ත්‍රවාදී දිනය යෙදෙන
සැප්තැම්බර් 15 දින ප්‍රජාතන්ත්‍රවාදය හඳුනා ගැනීම පිළිබඳව සටහනක් තැබීම කාලෝචිතය.
ප්‍රජාතන්ත්‍රවාදය යන්නට ඉංග්‍රීසියෙන් යෙදෙන්නේ Democracy ලෙසය. මෙහි නිරුක්තිය ග්‍රීක
වචනවලින් උත්පාදනය වී ඇති අතර, එය Demo - ජනතාව kratos - පාලනය යන්නයි. ප්‍රජාතන්ත්‍රවාදය තරම් විවාදයට ලක් වූ චින්තනයක් ඉතා විරල අතර, එයට දී ඇති විවිධ
අර්ථ කථනයන්ගෙන්ද අඩුවක් නොමැත. දේශපාලන දාර්ශනිකයන්ගේ සිට විවිධ විද්වතුන්ගේ මත
දැක්වීම් ප්‍රජාතන්ත්‍රවාදයේ අර්ථ නිරූපණයට වඩා එහි ස්වාභාවය හඳුනා ගැනීමට කරන ලද
ප්‍රයන්තයක් ලෙස දැකිය හැකිය. 1863 දී ඇමරිකානු ජනාධිපති ඒබ්‍රහම් ලින්කන්
ගෙට්ස්බර්ග් නුවරදී ප්‍රජාතන්ත්‍රවාදය හැඳින්වූයේ “ජනතාව විසින් ජනතාව උදෙසා
කරන මහජන පාලන තන්ත්‍රය” ලෙසය. ස්පාඤ්ඤ ජාතික මිගෙල් ද
ස්වාන්ට් ගේ අදහස වූයේ, “නිදහස වූ කලී
මිනිසා ස්වර්ගයෙන් ලත් මාහැඟි වස්තුවක් බවය”. “සියලු නීත්‍යානුකූල
පාලන රඳා පවතින්නේ ජනතාවගේ කැමැත්ත මත” බව, ජෝන් ලොක් (1680 ) ප්‍රකාශ කරයි.
ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය පවතින බව පවසන රටවල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා
දෙස බලන විට එම නිර්වචනයන් හා යථාර්ථවාදී ක්‍රියාකාරීත්වය අතර විශාල වෙනස්කම් පවතී. අප්‍රිකානු මහද්වීපයේ ඇතැම් රටවල්,
ලතින් ඇමරිකානු රටවල් හා ආසියානු රටවල්
වැනි එකිනෙකට පටහැනි විවිධ ආණ්ඩුක්‍රම පවතින රටවල් පවා තම රටවල ප්‍රජාතන්ත්‍රීය
පාලන ක්‍රම පවත්නා බව ප්‍රකාශ කරයි. කොමියුනිස්ට්වාදී පාලන ක්‍රමයේ ස්වරූපය ඇති
රටවල් පවා ප්‍රකාශ කරන්නේ එම පාලන තන්ත්‍රයන්ද ප්‍රජාතන්ත්‍රවාදී බවය. මෙයින් පෙනී
යන්නේ “ප්‍රජාතන්ත්‍රවාදී” පාලන තන්ත්‍රය සියල්ලන්ටම ප්‍රතික්ෂේප කළ නොහැකි දේශපාලන
පරමාදර්ශයක් බවට පත්ව ඇති බවය. ප්‍රජාතන්ත්‍රවාදය දුර්වල පාලන ක්‍රමයක් ලෙස ප්‍රතික්ෂේප
කරනු ලැබුවේ, ඉතාලියේ බෙනිටෝ මුසෝලිනී ප්‍රමුඛ පැසිස්ට්වාදීන් විසින් පමණකි.
කොමියුනිස්ට් ස්වරූපයේ රටවල නිදහස් හා ස්වාධීන මාධ්‍ය පැවැත්මක් නොමැති නිසා
ඒවා ප්‍රජාතන්ත්‍රවාදී නොවන බව බටහිර
ලිබරල්වාදීන් දක්වන අතර, මහාචාර්ය බර්නාඩ් කික් පවසන්නේ බහු ජනතාවගේ සහාය ඇතිව
විශේෂ පාලනයක් ගෙන යාම නිසා කොමියුනිස්ට් රටවලද ඔවුන් ද ප්‍රජාතන්ත්‍රවාදී බව කියා
ගැනීමට අයිතියක් ඇති බවය. “ආඥායක ප්‍රජාතන්ත්‍රවාදයක් Totalitarian
Democracy පැවතිය හැකි බවද, මහාචාර්ය කික් පවසයි. ඒ සඳහා උදාහරණ ලෙස දක්වා ඇත්තේ
එවකට සැම්බියාවේ ජනාධිපති කෙනත් කවුන්ඩාගේ සහ ටැන්සානියාවේ ජුලියස් නියරේරේ ගේ
පාලන ක්‍රමයන්ය.
ප්‍රජාතන්ත්‍රවාදයේ මූලයන් හා ප්‍රභවයන් සොයා යන විට ප්‍රධාන අවස්ථා කීපයක්
හඳුනාගත හැකිය. එයින් ග්‍රීක ප්‍රජාතන්ත්‍රවාදය මූලික වේ.
ග්‍රීක ප්‍රජාතන්ත්‍රවාදය - ක්‍රි.පූ - 4-5
ශත වර්ෂවල ග්‍රීසියේ පැවති පෞර රාජ්‍ය (Polis) තුළ ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික බීජයන් දැකගත හැකිය. ග්‍රීසියේ පැවති
විවිධ ආණ්ඩුක්‍රම 158 ක් ගැන ඇරිස්ටෝටල් පර්යේෂණ පැවැත් වූ බව සඳහන් වේ. සෑම
පෞරයක්ම ප්‍රජාතන්ත්‍රවාදී නොවූ අතර, ප්‍රජාතන්ත්‍රවාදී
ක්‍රමයේ සුප්‍රසිද්ධ නිදර්ශක රට ලෙස සැලකෙන්නේ ඇතෑන්ස්ය. ඇතෑන්ස් හමුදාපතිවරයෙකු
වන පෙරික්ලස් (Pericles) ගේ කතාවක් අනුව එම මූලාශ්‍ර ගොඩ
නැගී ඇති අතර, ඇතෑන්ස් රාජ්‍ය හා ස්පාටා රාජ්‍ය අතර, යුධ වැදී සිටියදී ඇතෑන්ස්හි
මියගිය සෙබළුන්ගේ වීරත්වය සිහි කිරීමට පැවැත් වූ උත්සවයක දී පෙරික්ලස් මෙම කතාව
සිදු කර ඇත. ඇතෑන්ස් හි ඍජු ප්‍රජාතන්ත්‍රවාදය ගැන
කතා කළද, එහි සියලු දෙනාටම එම අවස්ථාව ලැබී නොමැත. බහුතරයක් වූ වහලුනට හා ළමුන් හා
කාන්තාවනට, විදේශිකයනට ඡන්දය හිමි වී නැත. අනෙකුත් පුරවැසියනට වාර්ෂිකව
පවත්වන යම් නිලයකට තේරී පත්විය හැකි වී
ඇති අතර, නිලධාරීන් තම ක්‍රියා කලාපය ගැන
පුරවැසියනට උත්තර දීමට බැඳී සිට ඇත. නිලධාරීනට
චෝදනා කිරීමට පුරවැසියකුට හැකියාව තිබූ අතර, ඇතෑන්ස් අධිකරණය මගින් එය පරික්ෂා කොට
වරදකරු වූවොත් දඩුවම් ලබාදී ඇත. සොක්‍රටිස්ට
තරුණයන්ගේ සිත් දූෂණය කළ බවට චෝදනා කොට
මරණ දඩුවම ලබා දෙන ලද්දේ මේ
ආකාරයටය. අධිකරණය ද සමන්විත වූයේ සාමාන්‍ය
පුරවැසියන් ගෙනි. ග්‍රීක පෞරව මූලික තැන දුන්නේ පුද්ගලයාට නොව පෞරවටය. පෞර රාජ්‍ය
දේශපාලන සංවිධානයක් පමණක් නොවන සංස්කෘතික, ආගමික ඇතුළු සියලු සමාජ සම්බන්ධතා මෙහෙය
වූ පුළුල් සංවිධානයක් විය. ඇරිස්ටෝටල් ප්‍රකාශ කළේ, රාජ්‍යයෙන් බැහැරව ජීවත් විය
හැකියයි කෙනෙක් සිතන්නේ නම් ඔහු තිරිසනෙකු හෝ දෙවියෙකු විය යුතු බවය. මෙය අද
අර්ථයෙන් ප්‍රජාතන්ත්‍රවාදයට වඩා ෆැසිස්ට්වාදයට සමීප වන අදහසකි. නූතන ප්‍රජාතන්ත්‍රවාදයේ
අදහස රාජ්‍ය අධිකාරයෙන් පුද්ගලයා නිදහස්
කර ගැනීමය. එයින් මිදුණු තරමට ඔහු නිදහස්
හා නිවහල් පුද්ගලයෙකු වන බව සැළකේ. ප්‍රජාතන්ත්‍රවාදයේ බීජය ග්‍රීක පෞරයන් තුළ ඇති
වුවද, වර්තමාන ප්‍රජාතන්ත්‍රවාදය ඒ හා සම්බන්ධයක් නොමැත. අද රාජ්‍ය ප්‍රමාණයෙන්ද,
ජනගහනයෙන් ද වැඩි ජාතික රාජ්‍යයන් බවට
පත්ව ඇත.
ඇතෑන්ස් ප්‍රජාතන්ත්‍රවාදය - යටතේ පාලන කටයුතුවලට හවුල් වීමට සෑම
පුරවැසියෙකුටම අයිතියක් ලැබිණි. ඡන්දය ලබා
දී මැතිවරණවලදී නියෝජිතයන් පත්කර ගැනීම
පමණක් නොව ආණ්ඩුවේ කුමන හෝ ආයතනයක සාමාජිකත්වය ලබා එහි එදිනෙදා පරිපාලන කටයුතුවලට
සහභාගීවීමට ද පුරවැසියෙකුට හැකිවිය. ඔවුනට ඒ අවස්ථාව ලැබුනේ ධනවතුන් හා වහල්
හිමියන් වීම නිසා බව සමහර දේශපාලන විචාරකයන් ප්‍රකාශ කරන අතර, ප්ලේටෝ චෝදනාත්මකව
දක්වා ඇත්තේ, රෙදි අපුල්ලන්නන්, සත්තු මහන්නන්, වඩුවැඩ කරන්නන්, ගොවීන්,
කම්මල්කරුවන් හා සුළු වෙළෙන්දන්ගෙන් පුරවැසි සභාවේ වැඩි දෙනා සමන්විත වූ බවය.
ඇතෑන්ස් පාලන ක්‍රමයේ විද්‍යාමාන අංග වූයේ පුරවැසි සභාව, විධායක සභාව හා අධිකරණ
සභාවයි. පුරවැසි සභාව වසරක් තුළ සැසිවාර
දහයක් හා රැස්වීම් වාර හතළිහක් පැවැත්විය යුතු විය. පුරවැසියන් 3000-6000 අතර ප්‍රමාණයක්
සහභාගී වූ මේ මගින් පරිපාලන කටයුතු කළ
නිලධාරීන්ගේ ක්‍රියා පරීක්ෂාවට ලක් විය. මෙයට
සහභාගි විය හැකි වූයේ අවු.30 ට වැඩි පිරිමි පුරවැසියනට පමණකි. විධායක සභාව සාමාජිකයන් 500 පමණ සමන්විත වූ අතර, කාලය
වසර දෙකක් විය. මෙම සභාව දිනපතා රැස්
වූ අතර, එදිනෙදා කටයුතු මෙහෙයවීමට 50
න් යුතු කමිටුවක් හා ඡන්දයෙන් තෝරාගත් සභාපතිවරයෙක් ද විය. පුරවැසි සභාවේ
න්‍යාය පත්‍රය සකස් කිරීම සිදු කළේ විධායක සභාව විසිනි. පුරවැසියන්ගෙන් වාර්ෂිකව තෝරාගත් පුරවැසියන්
6000 න් පමණ සමන්විත වූ අධිකරණ සභාව සභා කීපයකින් යුක්ත විය. එක් එක් සභාව තීරණය ගනු
ලැබුවේ බහුතර ඡන්දයෙනි. සොක්‍රටීස් පඬිවරයාට
තරුණයන්ගේ සිත් දූෂ්‍ය කිරීමේ වරදකට මරණීය දඩුවම පමුණුවන ලද්දේ මෙම අධිකරණ සභාවක්
බහුතර තීරණය විසිනි. අධිකරණ සභාව වුවද එය
සාමාන්‍ය පුරවැසියන්ගෙන් යුතු එකක් විය.
මීට අමතරව පුරවැසියන්ගෙන් තෝරාගත් හමුදාපතිවරු 10 කින් යුතු මණ්ඩලයක් ද
විය. හමුදාව සෑදුනේ හදිසි අවස්ථාවකදී සියලු පුරවැසියන් ආයුධ සන්නද්ධ කිරීමෙනි. පෙරික්ලිස් වසර 15 ක් ඇතෑන්ස්හි හමුදාපති ධූරය දැරීය.
පැරණි ඉන්දීය ප්‍රජාතන්ත්‍රවාදය - ක්‍රි.පූ. 05 - 04
ශත වර්ෂවල ග්‍රීසියේ පෞර රාජ්‍ය ක්‍රමයට සමාන සමූහාණ්ඩු ක්‍රමයක් ඉන්දියාවේද පැවතී ඇත. බුද්ධ කාලයේ ඉන්දියාවේ
ශාක්‍ය, මල්ල, වජ්ජි ජනපදවල දියුණු ප්‍රජාතන්ත්‍ර පාලන ක්‍රමයක් පැවති බවට රීස් ඩේවිඩ්
පෙන්වා දෙයි. ග්‍රීසියේ විශාලම පෞර රාජ්‍ය වූ ස්පාටාව ( ව.සැ 3360 ) විශාල වූ අතර,
ඇතෑන්ස් පෞරවය ප්‍රමාණය ව.සැ. 1060 ක් විය. ඉන්දියාවේ ශාක්‍ය ජනපදය ද ඒ හා සමාන
විශාලත්වයකින් යුක්ත විය. ශාක්‍ය පාලනය තුළ බහුතර ඡන්දයෙන් පත් වූ “සංඝ මුඛ්‍ය” නම් සභාපතිවරයෙකු වූ අතර, සභාවේ වැඩ කටයුතු
හැසිරවීමට ලිපිකරුවෙක් ද විය.ගණපූර්ණය ගැන විශේෂ සැලකිල්ලක් දක්වා ඇති අතර, සභාවේ
සංඛ්‍යාව විශාල වීම නිසා එදිනෙදා වැඩ කටයුතු කරගෙන යාමට පුරවැසියන් 5-6 යුතු
කමිටුවක් ද වූ අතර, මෙය පුරවැසි සභාවට මුළුමනින්ම යටත් කොට තිබිණි යුද හමුදාව පවා
තෝරා ගනු ලැබුවේ පුරවැසි සභාව විසිනි. අද පවතින පාර්ලිමේන්තු ක්‍රමයේ බීජය
ඉන්දියාවේ පැවති බෞද්ධයන්ගේ මන්ත්‍රණ සභාවල දක්නට තිබීම බොහෝ දෙනාට පුදුමයක් විය හැකි යයි සර්ටෙලන්ඩ්
සාමිවරයා “ඉන්දියාවේ දායාදය” නැමති ග්‍රන්ථයේ සඳහන් කරයි.
ප්‍රොතෙන්ත්‍රන්ත ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ හා ලිබරල් වාදය
14,15,16 සියවස්වල යුරෝපයේ ඇති වූ සමාජ ආර්ථික වෙනස්කම් නිසා ඇති වූ
ලිබරල්වාදය හා ප්‍රොතෙන්ත්‍රන්ත ප්‍රතිසංස්කරණ
ව්‍යාපාරය ද සාමුහික බව වෙනුවට පුද්ගලයා වැදගත් කොට සැලකීම, එම ව්‍යාපාරයේ ලක්ෂණය විය. “පූජකවරුන් මගින්
නොව පුද්ගලයා කෙළින්ම දෙවියන්ට සම්බන්ධ කළ හැකිය”. යන ප්‍රොතෙන්ත්‍රන්තවරුන්ගේ පුද්ගලවාදී
ධර්මතාව රාජ්‍ය පාලනයේ ද මුල් බැස ගැනීමට මඟ පෙන්වීමක් විය.
ප්‍රජාතන්ත්‍රවාදයේ ගමන් මගේ ඵෙතිහාසික විශේෂ අවස්ථා කීපයක්
ක්‍රි.ව 483 – 565 - රෝමයේ ජස්ටීනියන් අධිරාජ්‍යයා විසින්
නීතියේ ආධිපත්‍ය තහවුරුවන නීති
සකස් කිරීම.
1215 – 6 - 15 - එංගලන්තයේ ජෝන් රජු අත්සන් කළ මහා
අධිකාර පත්‍රය (මැග්නාකාටා ප්‍රඥප්තිය) අත්අඩංගුවට ගැනීම, සිරකර
තැබීමේ රජුගේ අත්තනෝමතික බලය
ඉවත් කොට පාර්ලිමේන්තුවට බලය පැවරීම.
1265 - සයිමොන් ඩිමොන්පට්ගේ මූලිකත්වයෙන්
එංගලන්තයේ ප්‍රථම වරට සැබෑ
පාර්ලිමේන්තුවක් රැස්වීම.
1679 - නීති විරෝධී අත්අඩංගුවට ගැනීම්, රඳවා ගැනීම් අධිකරණය හමුවේ ප්‍රශ්න කිරීමේ හබයාස් කෝපස් නීතිය සම්මත කර ගැනීම.
1688 - එංගලන්තයේ රජුගේ බලතල පාර්ලිමේන්තුව
පැවරෙන අයිතිවාසිකම් පනත
සම්මත වීම
1771 - ඇමරිකානු පාරම්පරික ජනතාව කැරළි ගසා
ඇති කර ගන්නා ලද ඇමරිකානු
ව්‍යවස්ථාව, (සියලු ඡනපද වාසීන් පුරවැසියන් ලෙස සැලකීම)
1789 - ප්‍රංශයේ සාර් පාලනය ඉවත් කොට ඇති කර ගත්
ජනතා පාලනය මගින් ප්‍රකාශයට
පත් කළ ප්‍රංශ නිදහස් ප්‍රකාශනය ලෝකයේ ප්‍රථම
වරට නියෝජිත
ප්‍රජාතන්ත්‍රවාදයේ ආරම්භය සිදු වූයේ ප්‍රංශයේදීය.
1832 - එංගලන්තයේ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ
පනත මගින් ඡන්ද බලය පුළුල්
කිරීම.
කෘෂි ආර්ථික ක්‍රමය වෙනුවට වෙළඳාම හා කාර්මීකරණය පදනම වූ නව ධනේශ්වර ආර්ථික
ක්‍රමයක් බිහි වු අතර, රෝම අධිරාජ්‍ය හා රෝම
පල්ලිය සතු වූ දේශපාලන ආධිපත්‍ය ධනේශ්වරයේ ආර්ථික ක්‍රමයේ වර්ධනයට බාධාවක්
වූ බැවින්, ධනේශ්වරය විසින් එයින් මිදීමට
කුමාරවරුන්ගේ හා ප්‍රාදේශීය පාලකයන්ගේ සහාය පතන ලදි. පරමාධිපති රාජාණ්ඩු ක්‍රමයකට
පක්ෂව බටහිර දේශපාලන චින්තකයින් වූ මැකියවේලි, හොබ්ස්, බොඩැන් ආදීන් තර්ක ඉදිරිපත්
කරන ලදී. ධනේශ්වර පංතිය අපේක්ෂා කළ ජාතික ස්වාධීනත්වය, අභ්‍යන්තරික සාමය රාජාණ්ඩු
මගින් ප්‍රතිෂ්ඨාපනය කළද, 18,19 වන සියවස වන විට ඔවුන්ගේ ආර්ථික බලයට තර්ජනයක්
වන්නා වූ දේශපාලන බල අධිකාරයක් ලෙස මෙම රාජාණ්ඩු ක්‍රමය නැගී සිටියේ ය. එයට ප්‍රතිකර්මයක් ලෙස නව දේශපාලන අධිකාරියක්
සොයා ගිය ධනේශ්වරයා, තමන් අතට දේශපාලන බලය
අත්කර දුන් “සමූහාණ්ඩු වාදයට” නැඹුරු විය. රාජාණ්ඩු ක්‍රමයට එරෙහිව සමූහාණ්ඩු ක්‍රමයක් සඳහා
ගෙන ගිය සටන තුළින් ප්‍රජාතන්ත්‍රවාදය
ඉස්මතු වූ අතර, ලිබරල්වාදය ද මේ සමග මතු වූ බව දේශපාලන චින්තනයකු වූ “සර්ටෝබි” පවසයි.
ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ ගැටලු
18 වන සියවස අවසාන භාගය වන විට ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රම වලට දේශපාලන අභියෝග හා තර්ජනවලට මුහුණ දීමට සිදු විය. නීතිය
ඉදිරියේ සමානාත්මතාවය හා සිවිල් හා
දේශපාලන අයිතිවාසිකම් වලින්, දරුණු සූරාකෑමට ලක්ව සිටි කම්කරු පංතියට හා සුළු මධ්‍යම
පාන්තික ජනතාවට කිසිම සෙතක් නොමැති බව පැහැදිලි විය. නීතිය ඉදිරියේ සමානාත්මතාවය
හා ඉන් ආරක්ෂාව ලැබෙන්නේ ධනවත් අයට පමණක් බව ද, පැහැදිලි විය. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය
මගින් සහතික කළ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් භුක්ති විඳින්නේ ධනපති පංතිය නිසා
එම ආණ්ඩු පෙරළා දමා එහි බලය වැඩ කරන ජනතාව අල්ලාගත යුතු බව සමාජවාදීහු ප්‍රකාශ
කළහ. මෙම චින්තනයේ පෙරමුණ, කාල්මාක්ස් වැනි චින්තකයින් ගන්නා ලදී. ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධ නොවූ අතර, එය
ඉදිරියට ගෙන ගොස් “පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක්”
බිහි
කිරීම ඔවුන්ගේ අරමුණ වූ බව පෙනී යයි. බටහිර රටවල නිදහස් මැතිවරණ තිබුනද, හැම
අවස්ථාවකම බලයට පැමිණ ඇත්තේ ධනේශ්වර පංතිය බවද පෙන්වා දෙන ඔවුහු, ආර්ථික සමානාත්මතාවය සහතික කිරීමකින්
තොරව නීතිය මගින් සහතික කරන අයිතිවාසිකම්වලින් පමණක් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රිය
අයිතිවාසිකම් රැකදිය නොහැකි බව පෙන්වා දෙයි.
බ්‍රිතාන්‍යයේ දේශපාලන චින්තකයෙකු වන හැරල්ඩ් ලැස්කි ප්‍රකාශ කර ඇත්තේ “රජය දේපළ පාලනය
කළයුතුය, නැතහොත් දේපළ විසින් රජය පාලනය කරනු ඇත” යනුවෙනි.
ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක සාර්ථකත්වයට අවශ්‍යම ලක්ෂණ ලෙස හදුනාගෙන ඇති
කරුණු
(I). සුළුතරයට අගතියක් නොවන හා ඔවුන්ගේ අයිතිවාසිකම් උල්ලංගණය නොවන බහුතර පාලනය
(II). සාකච්ඡා මගින් තීරණවල එළඹීම, විරුද්ධ මත ඉවසීම හා සම්මුතිවලට එළඹීම.
(III). ව්‍යවස්ථාදායක, විධායක හා අධිකරණ වශයෙන් වෙන් වූ ස්වාධීන බලතල වෙන්ව තිබීම.
(IV). ව්‍යවස්ථානුකූල පාලනයට ගරු කිරීම
(V). නීතිය ඉදිරියේ සමානාත්මතාවය
හැරල්ඩ් ලැස්කි තවදුරටත් මෙම ලක්ෂණ පුළුල් කරමින් පහත සඳහන් ලක්ෂණ ද එකතු
කරයි.
(I). රජයේ වැඩකටයුතු ගැන විමසිල්ලෙන් සිටින පුරවැසි සමූහයක්
(II). රාජ්‍යයේ සෑම ජන කොටසකටම බලයට පැමිණෙන පාලකයන් එක සේ සැලකීම
(III). අන්‍ය අදහස්වලට ගරු කිරීම පුරුද්දක් වශයෙන් සමාජයේ තිබීම
(IV). ජාතියේ ඒකාබද්ධතාවය ඇති කිරීමට හැකිවීම
පුද්ගලික නිදහස ප්‍රජාතන්ත්‍රවාදී කුමයක වඩා ප්‍රමුඛ වන අතර, ඒවා නම්,
·
පෞද්ගලික නිදහස - කතා
කිරීමේ, සිතීමේ නිදහස හා අදහස් ප්‍රකාශ කිරීමේ භාෂණයේ නිදහස
·
දේශපාලන නිදහස - ඡන්දය
ප්‍රකාශ කිරීම, ඡන්ද අපේක්ෂකයෙකු වීම, පාලන බලය නීත්‍යානුකූලව ලබා ගැනීමට
ඇති අයිතිය, දේශපාලන පක්ෂ පිහිටුවා
ගැනීම, ඒවාට බැඳී කටයුතු කිරීමේ නිදහසක
·
ආර්ථික නිදහස - රැකියාවක
නිරත වීමේ අයිතිය වෘත්තිය සමිතියකට බැඳීම සාධාරණ ලෙස මුදල් ඉපයීම, ඉතිරි කිරීම, දේපොළ
බුක්ති විඳීම, ආරක්ෂාව ලැබීම්, ආහාර නිවාස, වෛද්‍ය පහසුකම්
ලැබීම.
·
සංස්කෘතික නිදහස - කැමති භාෂාවක් කතා කිරීම, කැමති ආගමක්
ඇදහීම, කැමති අවාහ
විවාහ සිරිත් හා වෙනත් සිරිත් විරිත් අනුගමනය කිරීම, අභිමත ලෙස අධ්‍යාපනය ලැබීම
නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය - රටක භූමි භාගය ප්‍රසාරණය වන විට
, ජනගහණය වර්ධනය වන විට සෘජු සහභාගීත්වයක් කළ නොහැකි වේ. ඒ සඳහා තමන්ගේ අභිලාෂයන්,
අරමුණු නියෝජනය කිරීමට නියෝජිතයන් මගින් පාලනයට සහභාගී වීමට සිදු වේ. ප්‍රජාතන්ත්‍රවාදය
ප්‍රායෝගික එකක් කළේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයයි. එය සඵලවීම සඳහා “සමාන ඡන්දය” හා “සඵල සහභාගීත්වය” අවශ්‍ය වේ. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රකාශනය, අවිය හා බලය ඡන්දයයි. දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදයේ හදවත වන්නේ නිදහස්
හා සාධාරණ මැතිවරණ මගින් ඇති කරන ජනතා පාලනයයි. එවැනි ජනතා පාලනයක වැඩිදුරට පවතින
ප්‍රජාතන්ත්‍රීය ලක්ෂණ වන්නේ‍්,
සර්වජන ඡන්ද බලය මගින් ආණ්ඩු හා
පාලනයක් තෝරා ගැනීම
·
තරඟකාරී පක්ෂ ක්‍රමය - ප්‍රතිවිරුද්ධ මත නියෝජනය කිරීමට අවස්ථාව තිබිම, අහිතකර
ක්‍රියා විවේචනය කිරීම හා අත්තනෝමතික ක්‍රියා වැළැක්වීම.
මේ සඳහා ආණ්ඩු පක්ෂය මෙන්ම ශක්තිමත් විපක්ෂයක්
ද තිබීම අවශ්‍යය.
·
ඡන්ද කොට්ඨාස ක්‍රමය - සෑම ජන කොටසකම අදහස් නියෝජනය වීම, ප්‍රාදේශීය වශයෙන් වැඩි නියෝජනය
·
නිදහස් හා සාධාරණ
මැතිවරණය - නියමිත කාලය තුළ මැතිවරණ පැවැත්වීම තම කැමැත්ත අනුව
නියෝජිතයන් තෝරා ගැනීම. ඡන්ද අපේක්ෂකයෙකු ලෙස
හා ඡන්ද දායකයෙකු ලෙස ක්‍රියා කිරීම.
·
සමානාත්මතාවය හා
නිදහස පදනම් කරගෙන ප්‍රජා ක්‍රියාකාරකම්වලට සහභාගී වීම.
·
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව
අනුව කටයුතු කිරීම - ක්‍රමවත්
බව හා ස්ථාවර බව ක්‍රියාවල විනිවිද
භාවය ඇතිවීම.
·
මාධ්‍ය නිදහස හා
තොරතුරු ලබා ගැනීමේ අයිතිය - දැනුවත් භාවය වර්ධනය විම. නිවැරදි තීරණයකට එළඹිය හැකි වීම.
·
අධිකරණයේ
ස්වාධීනත්වය - නීතියට විරුද්ධ හෝ
අයුක්ති සහගත ක්‍රියාවලට රැකවරණය ලැබීම. නීතියේ ආධිපත්‍ය හා නීතිය
ඉදිරියේ සමානාත්මතාවය
“නියෝජන ආණ්ඩුක්රමය” නැමති ග්‍රන්ථයේ
ජෝන් ස්ටුවට් බිලි ප්‍රකාශ කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක වැදගත්ම ගුණාංගය
මහජනතාවට රාජ්‍යයේ ස්වාධිපති බලයේ
කොටස්කරුවෙකු ලෙස ඇතුළු වීමට තිබෙන හැකියාවත් රටේ පරිපාලන කටයුතුවලට සහභාගී වීමට
තිබෙන හැකියාවත් බවය.
සමාප්තිය
ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික පරමාර්ථය සෑම පුද්ගයෙක්ම වර්ධනය කිරීමයි.
පුද්ගලයන් සියලු දෙනාම එක්ව ගත්කල “මහජනතාව” වේ. එම නිසා මහජනතාව විසින්
මහජනතාව පාලනය කළ යුතුය. එය රජ කෙනෙක්, ඒකාධිපතියෙක්, වංශාධිපතියෙක්, හමුදාවක්,
ජුන්ටාවක්, හෝ ඒකාධිපති දේශපාලන පක්ෂයක් විසින් කරන පාලනයක් නොවිය යුතුය. එහිදී
වඩා වැදගත් වන්නේ සුළුතර ප්‍රජාවගේ මුලික
අයිතිවාසිකම් උල්ලංගණය නොකරන බහුතර පාලනයයි. සුළුතර ප්‍රජාවගේ අයිතීන් උල්ලංගණය වන
පාලන ක්‍රමයට ප්‍රජාතන්ත්‍රවාදී සුජාත භාවය
නොලැබේ. මිනිසාගේ ස්වාභාවික අයිතිවාසිකම් එනම්, ජිවිතය, නිදහස හා සතුට ලැබීමේ
අයිතිය රැකදීම ප්‍රජාතන්ත්‍ර පාලනයේ පරමාර්ථය විය යුතු වේ.
ආයතනික වශයෙන් කොතෙකුත් හොද ප්‍රජාතන්ත්‍රීය විධිවිධානයන් යම් ආණ්ඩු ක්‍රමයකට
ඇතුළත් කළද ජනතාව ඒ පිළිබඳ දැනුවත් භාවයෙන් තොර නම් හා ජනතාව ඒවාට ක්‍රියාශීලි ලෙස සහභාගී වීම ප්‍රතික්ෂේප කරන්නේ නම් එයින් ලබාගත හැකි ප්‍රතිඵල අල්ප
වන්නේය. ප්‍රායෝගික දේශපාලනය තුළ ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රත්‍යක්ෂ කරගත හැක්කේ එම
ආණ්ඩු ක්‍රමයන් ක්‍රියාත්මක කරන සමාජ හා ආර්ථික තත්ත්වයන්ගේ සංවර්ධනය හා දියුණුව
මත බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
නිමල් පුංචිහේවා
0 comments:
Post a Comment