ලෝකයේ පළමු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියෝ


නව මැතිවරණ ක්‍රමයක් පිළිබඳ කතාබහ සමඟ ජනතා නියෝජිතයන් අතර කාන්තා නියෝජනය පිළිබඳ අලුතින් කතාබහක් ඇතිව තිබේ. ශ්‍රී ලංකාව පාර්ලිමේන්තුවේ සහ අනෙකුත් ඡන්දයෙන් පත්වන මහජන නියෝජිත ආයතනවල කාන්තා නියෝජනය අඩුම රටකි. 2015 අගෝස්තු මැතිවරණයෙන් පසු තෝරාගන්නා ලද පාර්ලිමේන්තුවේ සමස්ථ මන්ත්‍රීන් 225 න් 13 දෙනකු කාන්තාවන් වූ අතර එය සියයට 5.8 ක ප්‍රතිශතයක් විය​. මේ අනුව ශ්‍රී ලංකාව කාන්තා නියෝජනය අතින් රටවල් 187 ක් අතුරින් 178 වන ස්ථානයේ සිටියි.

මෙහි අයහපත් තත්ත්වය නම් ජනගහනයෙන් බහුතරයක් වන කාන්තාවන් රටේ නීති සැදෙන පාර්ලිමේන්තුවේ නියෝජනය නොවීමයි. විශේෂයෙන්ම කාන්තාවන්ට බලපාන කරුණු සම්බන්ධව වුවද නීති සම්මත කෙරෙන්නේ පිරිමින් විසින් වීම එක්තරා ආකාරයකින් කණගාටු වියයුතු කරුණකි.

ලෝකයේ පළමු වතාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් තෝරාපත් කරගන්නා ලද්දේ 1907 දී ෆින්ලන්තයයි. මෙකල ෆින්ලන්තය රුසියාවේ පාලනය යටතේ පැවතුන අතර එරට නෛතික වශයෙන් මහාදිපාද ප්‍රදේශයක් ලෙස සැලකුණි. ඊට වෙනම පාර්ලිමේන්තුවක් ද විය. 1906 දී ෆින්ලන්තය සර්ව ජන ඡන්ද බලය සිය ජනතාවට ප්‍රදානය කළ පළමු යුරෝපීය රට බවට පත් වූ අතර කාන්තාවන්ට ෆින්ලන්ත පාර්ලිමේන්තුවට තේරී පත්වීමට අවස්ථාව ලබාදෙන ලදී. මෙම නව මැතිවරණ නීති යටතේ පැවති පළමු මැතිවරණය 1907 මාර්තු 15 සහ 16 දිනවල පවත්වනු ලැබිණ.

මෙම මැතිවරණයෙදී පාර්ලිමේන්තු ආසන 200 න් 80ක් ම දිනාගනු ලැබුයේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය විසිනි. ෆින්වරුන්ගේ පක්ෂය (Finnish Party) ආසන 59 ක්, තරුණ ෆින්වරුන්ගේ පක්ෂය (Young Finns' Party) ආසන 26 ක්, ස්වීඩන් ජනතා පක්ෂය (Swedish People's Party) ආසන 24 ක්, ගොවිජන ලීගය (Agrarian League) ආසන 9 ක් සහ ක්‍රිස්තියානි කම්කරු පක්ෂය (Christian Workers' Party) ආසන 2 ක් දිනාගත්හ. මෙහි ස්වීඩන් ජනතා පක්ෂය යනු ෆින්ලන්තයේ වසන ස්වීඩන් ජාතිකයන්ගේ අවශ්‍යතා වෙනුවෙන් බිහි වූ පක්ෂයකි.

මෙම මැතිවරණයේදී පත් කරගන්නා ලද මන්ත්‍රීවරුන් 200 දෙනාගෙන් කාන්තාවන් සංඛ්‍යාව 19 ක් විය. ප්‍රතිශතයක් ලෙස ගත් විට එය සියයට 9.5 කි. එනම්, 1907 වසරේදී ෆින්ලන්ත පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය 2015 දී ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනයට වඩා සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ විය.

මෙහිදී වැදගත්වන අනෙක් කරුණ නම් මෙම කාන්තා නියෝජනය එක් පක්ෂයකට පමණක් සීමා නොවීමයි. සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් නියෝජිතවරියන් නව දෙනෙක්, ෆින්වරුන්ගේ පක්ෂයෙන් නියෝජිතවරියන් හත් දෙනෙක්, තරුණ ෆින්වරුන්ගේ පක්ෂයෙන් නියෝජිතවරියන් දෙදෙනෙක් සහ එක් ස්වීඩන් ජනතා පක්ෂ නියෝජිතවරියක් වශයෙන් මෙම නියෝජිතවරියන් තෝරාගන්නා ලදී. මෙයින් ලාබාලම මන්ත්‍රීවරිය වූයේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ඉඩා ආලේ-ටෙල්යෝ (Ida Aalle-Teljo) ය. පාර්ලිමේන්තුවට තේරී පත් වනවිට ඇය 22 වන වියෙහි වූවාය.

ෆින්ලන්ත පාර්ලිමේන්තුවේ අදටත් පවතින්නේ ආසන 200 කි. 2015 පැවති ෆින්ලන්ත මැතිවරණයේදී පත්වූ මන්ත්‍රීන් 200 දෙනාගෙන් 84 දෙනෙකුම මන්ත්‍රීවරියන් ය. එය සියයට 42 ක ප්‍රතිශතයක් වන අතර කාන්තා නියෝජනය අතින් ෆින්ලන්ත පාර්ලිමේන්තුව ලොව අටවැනි ස්ථානයේ සිටියි.

- චාමර සුමනපාල

0 comments:

Post a Comment