නුඹට නුඹ ගැන, නුඹෙ පුතුන් ගැන

සීත කඳුකර නුවරඑළියේ
ලැයිම් කාමර සිසාරා එන
හඬෙහි තේදළු සැලෙන රාවය
ගිගුම් දිය යුතු වේ ය, නිසි තැන...

මුහුදුකරයේ රැළි නැඟෙන හඬ
මුසු ව රැව් දෙන හෙලෙයියා නද
මුහුදු ලිහිණින් පියාඹා යන
හැඩට මතු විය යුතු ය, නිසි තැන...

හෙට ලොවට මඟ කියන විදුඇස
මැවෙන සිහිනෙක රැඳුන විසිතුර
සැබෑ වන ඉසිඹුවක අසිරිය
තැබිය යුතු වේ ය, නිසි තැන...

එ‘වූ නිසි තැන ඒ සුනිසි තැන
අපේ හදවත් එකට එක්වන
සොයා යා යුතු නුඹ මම ම මිස
වෙනත් කිසිවෙකු නොවිය යුතු ම ය...

නුඹේ හඬ ගෙන හඬ නඟන්නට
නුඹේ කඳුලින් සිනා පුබුදන
නිසි තැනැත්තන් සොයා යන්නට
හැකි නුඹට මිස අන් කවරෙකුට..?

නුඹ නමින් මිනිසෙක් සොයා යන
ඒ ගමන
ප්‍රජාතන්ත්‍රවාදය...
නුඹට නුඹ ගැන, නුඹෙ පුතුන් ගැන
සිතන්නට ඇති එක ම අඩවිය
ප්‍රජාතන්ත්‍රවාදය
නිසි තැනක, නිවැරදි ව රඳවන
දිනෙක නුඹ මදහස නැගෙනු ඇත...

ලීලනාත් වික්‍රමආරච්චි
සහකාර මැතිවරණ කොමසාරිස්


නුවරඑළිය

0 comments:

Post a Comment